තුන් මාසයේ පිංකමට කෙසේ සූදානම් විය යුතු ද?
සාලයේ කෙළවරකට වන්නට තැබූ මධ්‍යම ප්‍රමාණයේ උඩුකය ඡයාරූපයකි. ඊට ඉටි කොළවලින් සෑදු මල් මාලාවක් පළඳවා තිබේ. තමන්ගේ හිතවතා, ඥාතියා තමන්ගෙන් වියෝ වී මාස තුනක් ගතවන්නටත් ඉතා ආසන්නය. ඔහුගේ වියෝවත් සමඟ එකවරම බිඳවැටුණු සිත් යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වෙම්න් පවතී. නිවෙසට අලුත් කලඑළියක් වැටී ඇත. ඥාති හිතමිතුරන් යුහුසුළුව නිවෙස හා අවට පරිසරය පිරිසිඳු කරයි. කැඩී බිඳී ගිය ස්ථාන අලුත්වැඩියා කරමින් තීන්ත ආලේප කරයි.
තුන් මාසයේ දින නියම කරගත් දා පටන් නිවෙසියන්ට තරමක් අවිවේකී කාලයක් උදා වේ. ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ සමඟින් කළ කතාබහෙන් පසු පින්කම සිහිපත් කිරීමට ඥාතී හිතමිතුරන්ගේ නිවෙස්වලට
යයි. තම හිතවතාගේ දානමය පින්කම වෙනුවෙන් ආහාර පාන, රස කැවිලි,
අතුරුපස වර්ග ලබාදී දායකත්වයක් දක්වන්නට ඒ මොහොතේ දී ඥාති
හිතමිතුරන් ඉදිරිපත් වේ. තුන් මාසේ පින්කමට දැන් සියල්ල සූදානම්ය.
මියගිය ඥාතියා තුන් මාසයේ පිංකමට පෙරාතුව නිවෙසේ කවරෙකුට හෝ
සිහිනයෙන් පෙනුණොත් ඔහු හෝ ඇය පින් බලාපොරොත්තු වන බව
සමාජයේ මුල් බැසගත් මතයකි. එසේම ඔහු පින් මඳ ආත්ම භවයක උපත
ලබා ඇතැයි විශ්වාස කරයි. ඒ වගේම ගත වූ මාස දෙකයි දින ගණනාවක්
තුළ පෙරට වඩා අපල, උපද්‍රව, කරදර රැසකට නිවෙසියන්ට මුහුණදීමට සිදුවී
නම් එයද මළගිය ඥාතියාගේ ඇල්ම බැල්ම නිසා සිදු වූ බව පිළිගනී. එලෙසම
තමන්ට තම ඥාතියා සිහිනෙන් නොපෙනුණ ද ඔහුට ඔහුගේ ඊළඟ ආත්මය
සාර්ථක කරගැනීම උදෙසා පින් ලබාදීම වෙනුවෙන් හෝ තෙමස් පූර්ණ
පිංකමක් සිදුකිරීමට පෙළඹේ.
ඒ වගේම හත් දවසේ පිංකම සාංඝික කරනු ලබන්නේ මළ ගෙදර පැවති
නිවසේ දී නොවේ. එහෙයින්, නිවෙසේ සාංඝික දානයක් දීම සිදු කළ හැක්කේ
තෙමස් පූර්ණ පිංකම සමඟිනි. මෙහිදී ඇතිකරගන්නා සිතුවිලි අනුව
පුද්ගලයන්ගේ ආධ්‍යාත්මය පිරිසිඳුවනවා සේම භෞතික වශයෙන් ද පරිසරය
පිරිසිඳු වේ. තෙමස් සම්පූර්ණ පිංකම ආකාර කිහිපයකට සිදු වේ. එනම්
සමහරුන් රාත්‍රී ධර්ම දේශනාවක් පවත්වා පසුදා සාංඝික දානයක් දීමට කටයුතු
සූදානම් කරයි. එසේම සමහරුන් රාත්‍රීය පුරාවටම පිරිත් සජ්ඤායනා පවත්වා
පසුදා සාංඝික දානයක් ලබාදේ. එසේම වියදම් කිරීමට තරම් අතේ මුදල්
නොමැති අය පන්සලට දානය ගෙනවිත් පූජා කර, පැන් වඩවමින් පින්
අනුමෝදන් කිරීම සිදු කරයි. මේ කුමන ආකාරයකට තෙමස් පූර්ණ පින්කම
සිදුකරනු ලැබූවත් ඉන් මහත්ඵල මහානිශංස ගෙන දෙන බව පිළිගැනීම වේ.
මෙම පින්කම සමඟින් පවුල් යළිත් ඒකාබද්ධ වීමක් සිදු වේ. දුරස් වූ ඥාති
සබඳතා අලුත් වේ. ගුණාත්මක සංවර්ධනයක් සේම ආධ්‍යාත්මික සංවර්ධනයක්
ද මේ හරහා සිදුවන්නේ සදාචාරාත්මකවය.
තෙමස් පූර්ණ පින්කම් සංවිධානය කරන විට, ධනය ඇති පවුල්වල
සාමාජිකයන් බොහෝවිට පන්සලේ සංවර්ධනය වෙනුවෙන් තම මියගිය
ඥාතියාට පින් පතා යම් ඉදිකිරීම් කටයුතුවලට දායකත්වයක් ලබා දේ. නැත්නම්
වැඩිහිටි නිවෙසකට හෝ ළමා නිවෙසකට උදව් උපකාර කරනු ලබයි. මේ
සියල්ල සිදුකිරීමේ අරමුණ වන්නේ තම මියගිය ඥාතියාට පින් අනුමෝදන්
කිරීමටය.
රාත්‍රී කාලයේ පවත්වනු ලබන පැයක ධර්ම දේශනය සඳහා අසල්වැසියන්ට
පවා ආරාධනා කරයි. බොහෝ විට එම ධර්ම දේශනාවේ නිමිත්ත වන්නේ
දානයක අනුහස් හෝ පින් පැමිණවීමේ අනුහස් පිළිබඳවයි. අනතුරුව එම
අවස්ථාවට වැඩම කළ භික්ෂූන් වහන්සේට ධර්ම දානය ලබාදීම වෙනුවෙන්
දහම් පිරිකරක් ලබා දේ.
පසුදා සාංඝික දානය සඳහා ආහාර පිළියෙල කරනු ලබන්නේ පිරිසිඳුවයි. උඩු
වියන් බැඳ ආහාර පිළියෙල කිරීම එහිදී සිදු වේ. දානය සඳහා පිරිනමනු ලබන
ආහර වර්ග තීරණය වන්නේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණය මතයි.
සාමාන්‍යයෙන් සාංඝික දානයක් සඳහා අවම වශයෙන් උපසම්පදාව ලැබූ
භික්ෂූන් වහන්සේලා තුන් නමක් හෝ හතර නමක් හෝ වැඩම කළ යුතුමය.
සාංඝික දානය පිරිනැමිය යුතු භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය කොතෙක්ද යන්න
පිළිබඳ නියමයක් නැත. නිවෙසේ සාමාජිකයාට පහළොස් නමක් උදෙසා දානය
පිළිගැන්වීම අපේක්ෂාව නම්, අවම වශයෙන් උපසම්පදාලාභී භික්ෂූන්
වහන්සේලා තුන් නමක් ඇතුළු දාහතර නමකට ආරාධනා කරනු ලබයි. ඒ
දානය පිළියෙල කරනු ලබන්නේ සධාතුක කරඬුව ද ප්‍රමුඛ කරගන නිසාය.
සාංඝික දානයක් සඳහා සධාතුක කරඬුවහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා
වැඩමවාගෙන එනු ලබන්නේ හේවිසි සහිතව මල්, කොඩි රැගත් සුදු පැහැති
වස්ත්‍රවලින් සැරැසුණු පිරිසක් සමඟ පෙරහැරකිනි. භික්ෂූන් වහන්සේලාට
කරනු ලබන ගෞරවයක් ලෙස උන්වහන්සේලාව කැඳවාගෙන එනු ලබන්නේ
මුතු කුඩය යටිනි. ඒ උන්වහන්සේලාගේ නායකත්වය, ජ්‍යෙෂ්ඨත්වය මත
අනුපිළිවෙළට වන පරිදිය. අනතුරුව පවුලේ සාමාජිකයෙකු විසින්
උන්වහන්සේලාගේ දෙපා දෝවනය කොට, සුදු ඇතිරිලි පාවඩ මතින් නිවෙසට
වැඩම කරවනු ලබයි.
කෙටි ධර්ම දේශනාවක් සහ සධාතුක කරඬු වහන්සේට පූජෝපහාර හා දානය
පිළිගැන්වීමෙන් අනතුරුව දානය සඟසතු කරවනු ලබයි. මෙහිදී සාමාන්‍ය සිරිත
වන්නේ නිවෙසියන් සහ පවුලේ ළඟම හිතවතුන් විසින් පිරිසිඳුව පිළියෙල
කරගත් දානය, භික්ෂූන් වහන්සේලාගේ රුචි අරුචිකම් අනුව පිළිගැන්වීමය.
අනතුරුව අතුරුපස, රස කැවිලි ආදිය ද පිරිනමනු ලබයි.
දානය වැළඳීමෙන් පසුව භික්ෂූන් වහන්සේලාට පිරිකර පිළිගැන්වීම සිදු වේ.
සාමාන්‍යයෙන් මෙවැනි පින්කමක දී අට පිරිකර (අෂ්ට පරිශ්කාර) එකක් හෝ
කිහිපයක් හෝ පිරිනැමීම සිදුකරන අයුරු දක්නට ලැබේ. අට පිරිකර පූජාව
යනු අට මහා කුසලයක් ලෙසට බෞද්ධ පිළිගැනීම වේ. අට පිරිකර එකක්
පූජා කරනු ලබයි නම් එය පූජා කරනු ලබන්නේ කරඬු වහන්සේටයි.
ඉනික්බිති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළට සුළු පිරිකර පිළිගැන්වීම සිදු වේ.
අට පිරිකර පූජා කිරීමේ කුසලය ඉතා බලවත්ය. කාන්තාවක් විසින් අට
පිරිකර පූජා කළහොත් විශාඛා සිටු දේවියට මහලිය පළදනාවක් ලැබුනා සේ
මොනයම් අත් භවයකදී හෝ මහාර්ඝ පළඳනාවක උරුමය ලැබේ. පංච
කල්‍යාණියක ලෙස උපත ලබන අතර මිහිරි කටහඬක උරුමය ද සහිතව
උපදී. පුරුෂයෙකු විසින් අට පිරිකර පූජා කළහොත් බුදුවරයෙකුගෙන් මතු
අත්භවයක දී 'ඒහි භික්ෂූ' භාවයෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබේ. එලෙසම
අටපිරිකර පූජාවේ අනුහසින් සංසාරයේ ඇතිවිය හැකි බාධක, කරදර,
කම්කටොළු දුරු වේ.
සුළු පිරිකර පූජා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මියගිය පුද්ගලයාගේ මතු
ආත්මභවය කිසිඳු අඩු ලුහුඬුවකින් තොරව සැපදායී කිරීමයි. කුසලය
අනුමෝදන් කිරීම මඟින් ආත්මය සුඛිත මුදිත කිරීමත්, මියගිය පුද්ගලයා පින්
අඩු ආත්මයක උපත ලබා තිබේ නම් පින් බලය, ශක්තිය වර්ධනය කරවීමත්
සිදු වේ.
දානය හා පිරිකර පූජාවලින් අනතුරුව ඥාතීන් එක්ව මියගිය පුද්ගලයාට පැන්
වඩා පින් අනුමෝදන් කරනු ලබයි. ඒ සමඟ තෙමස් පූර්ණ පින්කම නිමාවට
පත්වන අතර, යළිත් පෙරහැරකින් සධාතුක කරඬු වහන්සේ හා භික්ෂූන්
වහන්සේලාව පන්සලට වැඩම කරවීම සිදු වේ.
මෙය එක්තරා ආකාරයකට සද්භාවයෙන් සිදුකරනු ලබන කෘතගුණ සැලකීමේ
පින්කමකි. එලෙසම මියගිය ඥාතියාව යළි යළිත් සිහිපත් කිරීමකි.
0 Comments