සෙරෙප්පුව නොදැනීම ගැලවෙන්නේ දියවැඩියාවටද
දියවැඩියාව මාරාන්තික රෝගයක් නොවූවද එය මාරාන්තික සංකූලතා ඇතිකරන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය.
දියවැඩියාව ලෙස හඳුන්වන්නේ රුධිර යේ තිබිය යුතු සීනි ප්‍රමාණය පමණට වඩා වැඩියෙන් තිබීමය.
ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා විවිධ එන්සයිම වර්ග හෝමෝන වර්ග රැසක් නිපදවේ. ඉන්සියුලින් යනු එසේ ශරීරයේ නිපදවෙන එක් වැදගත් හෝමෝනයකි. ඉන්සියුලින් හෝමෝනය නිපදවෙන්නේ ඇලදිව හෙවත් අග්න්‍යාසය නමැති ඉන්ද්‍රිය තුළය. අප ගන්නා ආහාරයේ ඇති පිෂ්ටය කොටස් ශරීරයට උරාගැනීමට ඉන්සියුලින් උපකාරී වේ. ජීවිත කාලය පුරා අප කරන සෑම කටයුත්තකටම ශක්තිය අවශ්‍ය වේ. එම ශක්තිය අපට ලබාදෙන්නේ ආහාරවල ඇති පිෂ්ටය කොටස් සරල සීනි (ග්ලූකෝස්) බවට පරිවර්තනය වීමෙනි. ඉන්සියුලින් හෝමෝනය අවශ්‍ය වන්නේ මෙම කාර්ය සාර්ථකව සිදු කිරීමටය.
ඇතැම් විටෙක අවශ්‍ය පමණට ඉන්සියුලින් නිපදනොවීම මෙන්ම ඉන්සියුලින්වල ක්‍රියාකාරිත්වයට ශරීරය තුළින්ම ප්‍රතිරෝධයක් දක්වන අවස්ථා ද ඇත. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීමය. දියවැඩියාව ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයය.
රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම මොළය, හෘදය, වැනි ශරීරයේ වැදගත් කොටස්වලට බරපතළ ලෙස බලපෑම් ඇති කිරීමට සමත්ය. දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීම මෙන්ම එය පාලනය කිරීම වැදගත් වන්නේ ඒ නිසාය.
දෙවැනි වර්ගයේ දියවැඩියාවට හේතුවන්නේ ඉහතින් සඳහන් කළ ආකාරයෙන් ශරීරයේ ඉන්සියුලින් නිපදවීම අඩුවීම සහ ඉන්සියුලින් සඳහා ශරීරයෙන්ම ප්‍රතිරෝධී භාවයක් දැක්වීමය.
තුන්වැනි වර්ගයේ දියවැඩියාව ගර්භණී මවුවරුන්ට ඇතිවන දියවැඩියාවය. ගර්භණී මවකට දියවැඩියාව වැලඳුනහොත් ඉදිරි වසර 5 තුළදී එම මව දියවැඩියාවට ගොදුරු වීමට ඇති හැකියාව සියයට පනහක් පමණ වේ. එබැවින් ගර්භනී මවුවරු දියවැඩියාවට ගොදුරු නොවී සිටීමට වගබලා ගත යුතුය.
සමාජයේ විශාල සංඛ්‍යාවක් ගොදුරු වී ඇත්තේ ද, විශාල සමාජ ගැටලුවක් බවට පත්වී ඇත්තේ ද දෙවැනි වර්ගයේ දියවැඩියාව රෝගයය. මෙම තත්ත්වය බහුලවීමට හේතුවී ඇති ප්‍රධානම කරුණක් වන්නේ මිනිසුන්ගේ ජීවන රටාව වෙනස්වීමය. ගනු ලබන ආහාර රටාව වෙනස්වීම ඉන් ප්‍රධානය. මීට වසර විස්සකට තිහකට කාලයට වඩා අධික කැලරි අධික සීනි සහිත ආහාර මෙන්ම පිෂ්ටය අඩංගු ආහාර, ක්ෂණික ආහාර ගැනීමට වර්තමානයේදී බොහෝ දෙනෙක් පෙලඹී ඇති බව පැහැදිලිය. කලකට පෙර වැඩිහිටියනට පමණක් සීමාවී තිබූ මෙම දෙවැනි වර්ගයේ දියවැඩියාව දරුවන් වෙත ද ව්‍යාප්ත වී ඇත්තේ දරුවන්ගේ ආහාරවේල මව්පියන් විසින් නිවසේදී පිළියෙළ කර නොදී කඩයකින් ගැනීමට පෙලඹී තිබීමය. බොහෝවිට එම ආහාරය පිෂ්ටය සහිත ආහාර වේලක් විය හැකිය.
එමෙන්ම වත්මන් දරුවන්ගේ ක්‍රියාකාරිත්වය මීට වසර කීපයකට පෙර දරුවන්ගේ ක්‍රියාකාරිත්වයට වඩා අඩු මට්ටමක ඇති බව පැහැදිලිය. තරග විභාග ආදිය නිසා දරුවන් පොතපතට යොමුවී ක්‍රීඩාවන් සඳහා යොමු නොවීම ස්වල්ප දුරක් හෝ පයින් ඇවිදින්නේ නැතිව පාසල් වෑන් රථවලින්ම පාසල් යාම වැනි හේතු ද මේ සඳහා බලපෑ හැකිය. ශරීරයේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා ස්ථුලභාවයට පත්වෙති. එවිට ශරීරය තුළ නිපදෙන ඉන්සියුලින් හෝමෝනයට ශරීරය තුළින්ම ප්‍රතිරෝධයක් ඇතිවේ එහි ප්‍රතිඵලය වන්නේ දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇතිවීමයි.
පසුගිය වසර කීපය තුළ ගර්භණී අවස්ථාවකදී ඇතිවන දියවැඩියා තත්ත්වය ද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වනු දැකගත හැකිය. එයට ප්‍රධානම හේතුව වන්නේ දෙවැනි වර්ගයේ දියවැඩියාව සහිත ගැහැනු දරුවන් සමාජයේ බහුල වී ඔවුන් මවුවරුන් බවට පත්වීමය. වර්තමානයේදී නාගරික ප්‍රදේශවල දියවැඩියාවට ගොදුරුවී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව සියයට 14-16 ප්‍රමාණයක් ද, ගම්බද ප්‍රදේශවල එම ප්‍රතිශතය සියයට 8-10 ප්‍රමාණයක් ද දක්වා වර්ධනය වී ඇත. ශරීරය වෙහෙසා වැඩක රන පිරිසක් ජීවත්වන වතුකරයේ පවා මේ වනවිට සියයට පහක පමණ පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව නවතම සමීක්ෂණ මඟින් තහවුරු වී ඇත.
දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහලේ
දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
උදිත බුලුගහපිටිය
දියවැඩියා රෝගයට ගොදුරුවීමට ඉහතින් දැක්වූ නිවැරැදි නොවූ ආහාරමය පුරුදු සහ ක්‍රියාකාරී නොවන ජීවන රටාවකට හුරුවීම ප්‍රධාන වශයෙන් ම හේතු වුවද ජානමය හේතූන් ද මේ සඳහා බලපෑ හැකිය. යම් අයකුගේ මවට පියාට හෝ පවුලේ වෙනත් අයකුට දියවැඩියා රෝගය ඇත්නම් එම පුද්ගලයාට දියවැඩියා රෝගය ඇතිවීමේ හැකියාව වැඩිය. තම මවගෙන් හෝ පියාගෙන් ලැබුණු ජානමය ලක්ෂණ වෙනස් කළ නොහැකිය.
තම මවට හෝ පියාට දියවැඩියාව ඇත්නම් තමාට අනිවාර්යයෙන්ම දියවැඩියාව හටගනී යැයි සිතමින් සිටිය යුතු නැත. ජානමය බලපෑමක් තිබුණ ද තම ආහාර රටාව සහ ජීවන රටාව යහපත්ව පවත්වාගෙන යාමෙන් දියවැඩියාවට ගොදුරු නොවී සිටිය හැකිය. දියවැඩියාවට හේතුවන තවත් සාධකයක් වන්නේ ස්ථුලභාවයයි. එමෙන්ම දියවැඩියාව හටගැනීමට මානසික ආතතිය ද හේතු වන බව තහවුරු වූ තවත් සාධකයකි.
දියවැඩියා රෝගයේ මූලික ලක්ෂණ පිළිබඳව සොයා බලන විට පෙනීයන්නේ දියවැඩියා රෝගීන්ගෙන් සියයට හතළිහක් පමණ කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවන බවය. බොහෝ දෙනකුගේ ශරීරය තුළ වසර ගණනාවක් තිස්සේ දියවැඩියා රෝගය සැඟවී තිබිය හැකිය. හිටිහැටියේම ශරීරයේ බර අඩුවීම, කෑම රුචිය වැඩිවීම, නිතර නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය, ශරීරයට අධික වෙහෙසක් දැනීම, දෑස්වල බොඳවීමේ ස්වභාවයක් ඇතිවීම වැනි රෝග ලක්ෂණ දියවැඩියා රෝග ලක්ෂණ ලෙස රෝගීන් වෙතින් මතුවේ.
මෙහිදී බොහෝ දෙනකු තමන්ගේ දෑස්වලින් කඳුළු ගලන බවත්, යමක් පෙනෙන්නේ බොඳවී බවත් පවසනු දැකිය හැකිය. එසේම දියවැඩියාව ඇති පිරිමින්ගේ මුත්‍රා කරන ස්ථානයේ පැලීමක් හෝ තුවාලයක් ඇතිවීම, කාන්තාවකගේ නම් මුත්‍රා කරන ස්ථානයේ කැසීමක් ඇතිවීම වැනි රෝග ලක්ෂණ ද පෙන්නුම් කරනු ඇත. එසේම මුත්‍රා මාර්ගය ආශ්‍රිතව නිතර නිතර ආසාදනයන් ඇතිවීම ද දියවැඩියා රෝගයේ ලක්ෂණයකි. එසේම ඇතැමුන් මුත්‍රා කළ විට එම මුත්‍රා තැවරුණු ස්ථානවලට කූඹින් එක්රැස්වනු දැකගත හැකිය. එයට හේතුව මුත්‍රා සමඟ සීනි පිටවීමය. මෙයද ඇතැම් විටෙක දියවැඩියා රෝගය පිළිබඳ හෝඩුවාවක් විය හැකිය.
දියවැඩියා රෝගය ඇත්දැයි ඉතා පහසුවෙන් හඳුනාගැනීමේ පරීක්ෂණ කීපයක්ම ඇත. මෙහිදී පැය 8 – 10 අතර කාලයක් නිරාහාරව සිට පරීක්ෂාව සඳහා රුධිරය ලබාදිය යුතුය. මෙහිදී මෙම කාලය තුළ ජලය පානය කිරීමේ වරදක් නැත. එහෙත් සිසිල් බීම හෝ තේ වැනි දෑ පානය වැරදි සහගතය. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය ලෙස රුධිරයේ සීනි ප්‍රමාණය ලෙස 126කට වඩා වැඩි අගයක් දැක්වෙයි. නම්, එය දියවැඩියා රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගැනේ.
දියවැඩියාව සුව කළ නොහැකි රෝගයක් වුවද එය හඳුනාගෙන නිවැරැදි ආහාර රටාවන් සහ නිවැරැදි පිළිවෙත් සමඟ ඖෂධ නියම මාත්‍රාවට ගැනීමෙන් යහපත් ජීවිතයක් ගත කළ හැකි නිසා සුදුසු තත්ත්වයේ ඇති පරීක්ෂණාගාරයකින් රුධිර පරීක්ෂාව කළ යුතුය.
දියවැඩියාව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ට විවිධ අයුරින් බලපෑම් කිරීමට සමත්ය. මෙම රෝගයේ ඇති භයානක බව එයය. දියවැඩියාව නිසා ඇස්වලට එල්ල වන බලපෑම පිළිබඳව සැලකීමේදී පෙනී යන්නේ දෑස්වල අභ්‍යන්තරයේ වෙනස්කම් රැසක්ම සිදු කිරීමට දියවැඩියා රෝගය සමත් වන බවය.
දෑස්වල සුද ඇතිවීමට දියවැඩියාව හේතුවක් විය හැකිය. එමෙන්ම දෑස්වල ඇතිවන විවිධ ආසාදනවලට ද දියවැඩියාව සෘජු ලෙසම බලපාන බව හෙළි වී ඇත. එබැවින් දෙවැනි වර්ගයේ දියවැඩියාවට ගොදුරු වී ඇති පුද්ගලයන් වසරකට හෝ වරක් තම දෑස් පරීක්ෂා කර ගැනීම වැදගත්ය. දියවැඩියාව නිසා ඇස් අභ්‍යන්තරයට වන හානිය සිදුවන්නේ ඉතා සෙමිනි. කලින් හඳුනා ගැනීමෙන් එයට ප්‍රතිකාර කළ හැකි වන අතර තත්ත්වය දරුණු වී ඇස් විනාශ වුවහොත් ප්‍රතිකාර කළ නොහැකිය. වැඩ කරන වයස් සීමාව තුළ ජීවත්වන වැඩිම පිරිසක් අන්ධ භාවයට පත් කරන ප්‍රධානතම රෝග තත්ත්වය වන්නේ දියවැඩියාවය.
එසේම දියවැඩියා රෝගීන්ට හෘදයාබාධ ඇතිවීමේ අවධානම අන් අයකුට වඩා තුන් හතර ගුණයකින් වැඩිය. එමෙන්ම හෘදයාබාධයකින් ඇතිවන සංකූලතාවයන් අන් අයකුට වඩා දියවැඩියා රෝගීන්ට වැඩිය. අධික රුධිර පීඩනය ඇතිවීම, රුධිරයේ කොලෙස්ටරෝල් මේදය වැඩිවීම යන තත්ත්වයන් සඳහා ද දියවැඩියාව හේතුª වන බව තහවුරු වී ඇත. තවත් වැදගත් කරුණක් වන්නේ මොළය ආශි‍්‍රතව ඇතිවන ආඝාත බහුල වීමට ද දියවැඩියාව සෘජු ලෙසම බලපාන බවය. දියවැඩියා රෝගීන් වෙතින් පෙන්නුම් කෙරෙන තවත් රෝගී තත්ත්වයක් වන්නේ පාදවල යම් යම් ගැටලු මතු වීමය. පාදවල දැවිල්ලක් වේදනාවක් ඇතිවීම, පාදවල හිරි ගතිය ඇතිවීම, පාද බිම තැබු විට නොදැනෙන ස්වභාවයක් ඇතිවීම වැනි තත්ත්වයන් ඇතිවේ. මෙහිදී සෙරෙප්පුවක් පැලඳ සිටිය ද එය නොදැනී ගැල වී යා හැකිය.
ඊට අමතරව පාදවල රුධිර නාල අවහිර වීම නිසා පාදවලට රුධිරය සැපයීම අඩු විය හැකිය. දියවැඩියා රෝගීන්ගේ පාදවල ඇතිවන මෙම තත්ත්වය නිසා පාදවලට තුවාලයක් සිදු වුවද බොහෝ විට එය නොදැනී යා හැකිය. මෙම තත්ත්වයට පත්වූ රෝගීන්ට වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වුවද පාදවල තුවාල ඇතිවිය හැකිය. පාදවල ඇතිවන මෙවැනි තුවාල ඉක්මනින් වර්ධනය වේ. එය පාදය කපා ඉවත් කිරීම දක්වා වර්ධනය විය හැකිය. දියවැඩියා රෝගියකුගේ එක් පාදයක් ඉවත් කිරීමට සිදු වුවහොත් බොහෝ විට අනෙක් පාදයත් ඉවත් කිරීමට සිදුවිය හැකිය.
දියවැඩියා රෝගය වකුගඩුවලට එල්ල කරන්නේ ප්‍රබල බලපෑමකි. වර්තමානයේ බොහෝ දෙනකුගේ වකුගඩු අක්‍රිය වීමට බලපා ඇති ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ දියවැඩියාවය.
වඩාත් වැදගත් වන්නේ දියවැඩියාව නිසා ඇතිවන මෙම සංකූලතාවයන් වළක්වා ගැනීමට කටයුතු කිරීමය. ඒ සඳහා පළමුවෙන්ම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව නියමිත පරිදි ඖෂධ ලබා ගැනීමය. අවාසනාවකට මෙන් බොහෝ රෝගීහු රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන ඖෂධ නිසි පරිදි භාවිත නොකරන අවස්ථා ඇත. එම ඖෂධ නියම මාත්‍රාවෙන් ගැනීම රෝගියාගේ වගකීමකි. ඖෂධ භාවිතයෙන් රෝගය පාලනය කිරීම, දුම්පානය නැවැත්වීම, ක්‍රියාකාරී ජීවන රටාවකට හුරුවීම වැනි ක්‍රියා මඟින් දියවැඩියා රෝගයට ඉතා සාර්ථකව මුහුණදීමේ හැකියාව ඇත.
දියවැඩියා රෝගීන්ට තමන් කැමති කිසිදු ආහාරයක් ගැනීම නුසුදුසු බවට ඇතැමුන් තුළ මිථ්‍යා අදහසක් ඇත. තම රෝගය පිළිබඳව අවබෝධයකින් සිටිමින් වෛද්‍ය උපදෙස් අනුව යම් යම් ආහාර ගැනීමේ වරදක් නැත.
විවිධ ඖෂධ වර්ග වෛද්‍යවරුන් විසින් නියම කරනු දැකගත හැකිය. මෙහිදී මතු වන මූලික ගැටලුවක් වන්නේ දියවැඩියාවට නියම කරනු ලබන ඖෂධ මඟින් වකුගඩුවලට බලපෑමක් ඇතිවේ ය යන වැරැදි සහගත සිතිවිල්ල බොහෝ දෙනෙක් තුළ පැවතීමය. දියවැඩියාවට දෙනු ලබන ඖෂධ වලින් වකුගඩුවලට හානියක් නොවන අතර වකුගඩුවලට ප්‍රතිකාර නොකිරීමෙන් වකුගඩු විශාල ලෙස හානියට පත් වේ. වෛද්‍යවරු විසින් නියම කරනු ලබන ගිලින ඖෂධ දිගින් දිගටම කලක් භාවිත කරන විට එම ඖෂධ වලින් රෝගය පාලනය නොවන අවස්ථාවක් එළඹිය හැකිය. එය සිදුවන්නේ ගිලින ඖෂධවලට ශරීරය ප්‍රතිරෝධයක් දැක්වීම නිසාය. එය දියවැඩියාව අසාධ්‍ය වූ අවස්ථාවක් නොවේ. එය සාමාන්‍ය තත්ත්වයකි. මෙම අවස්ථාවේදී කළ යුතු ප්‍රතිකාරය වන්නේ ඉන්සියුලින් බාහිරව ලබාදීමය.
දියවැඩියාවට ඉන්සියුලින් භාවිත කරන්නේ රෝගය අසාධ්‍ය වූ අවස්ථාවේදී යන වැරැදි සහගත සිතිවිල්ල බැහැර කළ යුතුය. එමෙන්ම ඉන්සියුලින් ලබාදීම ආරම්භ කළ පසුව එයට ශරීරය හුරුවේ ය යන්න ද මිථ්‍යා සිතිවිල්ලකි. ඇතැම් විට කලක් ඉන්සියුලින් භාවිත කර නැවත ගිලින ඖෂධ වෙත මාරු වීමේ අවස්ථාවන් ද ඇත.
දියවැඩියා රෝගීන් හට සුදුසු ආහාර පිළිබඳ විවිධ මත ඇත. මෙවැනි රෝගීන් සඳහා වෛද්‍යවරු උපදෙස් ලබා දෙන්නේ සීනි අඩංගු ආහාර අඩුවෙන් ගන්නා ලෙසය. එම ආහාර හකුරු සීනි මීපැණි හෝ කේක් වැනි ආහාරයක් විය හැකිය. එම ආහාර ගැනීම සීමා කළ යුතුය. ඒ වෙනුවට පලතුරු එළවළු වැනි ආහාර වැඩිපුර ගත හැකිය. එයට හේතුව වන්නේ සීනි අඩංගු ආහාර සුළු ප්‍රමාණයකින් රුධිරයේ සීනි ප්‍රමාණය අධික ලෙස ඉහළ යාමය. එමෙන්ම තිරිඟු පිටි වලින් නිපදවන ආහාර ද සීමා කිරීම වැදගත්ය. වඩාත්ම සුදුසු වන්නේ එළවළු මස් මාළු බත් සමඟ පෝෂ්‍ය ආහාර වේලක් ගැනීමය. බත් ආහාරයට ගැනීමේදී වඩාත් සුදුසු වන්නේ බත් ස්වල්පයක් සමග එළවළු වැඩියෙන් ආහාරයට ගැනීමය. සීනි වෙනුවට හකුරු සුදුසු යැයි කීම ද මිථ්‍යා අදහසකි. සීනි සහ හකුරු යන දෙකෙහිම ඇත්තේ ශරීරයට අහිතකර සීනිය.
දියවැඩියාවට ඖෂධ ලබාගන්නා අයකුගේ ශරීරයේ සීනි ප්‍රමාණය හදිසියේම අඩු විය හැකිය. බොහෝ දෙනකුට එසේ සිදුවන්නේ ඖෂධ ගන්නා අතරතුර නියමිත ආහාර වේල් නොගැනීම නිසාය. දියවැඩියාවට ඖෂධ ලබාගන්නා රෝගීන් මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ ඖෂධ ගන්නා අතරතුර නියමිත ප්‍රධාන ආහාර වේල් තුන මඟ නොහැරිය යුතු බවය. එසේම එම ප්‍රධාන ආහාර වේල් අතරතුර කුඩා ආහාර වේලක් ගැනීමේ හැකියාව ද ඇත. දියවැඩියා රෝගියකු වෛද්‍යවරයා විසින් තමන්ට නියම කරනු ලබන ඖෂධ මාත්‍රාව නිවැරැදිව ගන්නේ නම්, නියමිත වේලාවට ආහාර ගන්නේ නම්, රුධිරයේ සීනි ප්‍රමාණය එසේ හදිසියේ අඩු වීමක් සිදු නොවේ.
එසේ රුධිරයේ සීනි ප්‍රමාණය හදිසියේ අඩු වූ විට දහදිය දැමීම, ක්ලාන්ත ස්වභාවයක් ඇතිවීම, හෘද ස්පන්ධනය වැඩිවීම, බඩගිනි ස්වභාවයක් ඇතිවීම වැනි ලක්ෂණ මතු වේ. මෙවැනි අවස්ථාවකදී වහාම සීනි සහිත ආහාරයක් ගැනීම සුදුසුය. මෙවැනි අවස්ථාවලින් මිදීමට වඩාත්ම සුදුසු වන්නේ ප්‍රධාන ආහාර වේල් තුන කිසි විටෙකත් මග නොහැරීමය.
දියවැඩියා රෝගීන් තම පාද පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දිනකට වරක්වත් තම දෙපා පරීක්ෂා කළ යුතුය. සියලුම දියවැඩියා රෝගීන් ස්නානය කරන වේලාවේදී සහ නිදා ගන්නා විට හැර අනෙක් සෑම අවස්ථාවකදීම සෙරෙප්පු පැලඳ සිටීම ඉතාම වැදගත්ය. සපත්තු පලඳින උදවිය සැම විටම මේස් දමා සපත්තු පැලඳිය යුතුය. එසේම සපත්තු හෝ සෙරෙප්පු පාදවලට තද නොවී පැලඳිය යුතුය.
දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීමට නම්, දරුවා කිරි උරා බොන අවස්ථාවේ සිටම මවුපියන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. දරුවාට සාමාන්‍ය ආහාර ලබාදීමේදී බල කරමින් දරුවාට වැඩිපුර ආහාර ලබා නොදීමට වග බලා ගැනීම ද වැදගත්ය.
අද බහුල ලෙස දැකගත හැකි තත්ත්වයක් වන්නේ මව්වරු පෙරැත්ත කරමින් තම දරුවන්ට ආහාර කැවීමය. අම්මා සිතන්නේ අම්මාට ඇතැයි කියා සිතෙන පමණට දරුවා ආහාර ලබාගත යුතු බවය. එසේම තම දරුවා ස්ථුල වූයේ නම් එය පෙනුමට හොඳ යැයි ඇතැම් මවුවරු සිතීමට පෙලඹෙති. මේවා ඉතා වැරැදි සහගත මතයන්ය. මේවායේ ප්‍රතිඵලය වන්නේ දරුවා ස්ථුල දරුවකු වීමය; දියවැඩියා රෝගී දරුවකු වීමය.
ඕනෑම දරුවකු තමාට බඩගින්නක් ඇතිවූ විට ආහාර ඉල්ලයි. විශේෂයෙන්ම කුඩා දරුවකුට කැලරි අධික සීනි අධික ආහාර ලබාදීම නුසුදුසුය. දරුවා එම ආහාර වලට කුඩා අවධියේදීම හුරු වුවහොත් එයින් මුදා ගැනීම අපහසුය. දරුවකු කුඩා කල සීනි, ලුණු, කැලරි අධික ආහාරවලට හුරු නොවුණහොත් වැඩිහිටියකු වූ විට ද එම දරුවා එම ආහාරවලට රුචියක් නොදක්වනු ඇත.
0 Comments