නමින් සුනිල් නම් වූ ඔහු මැදිවියේ පසුවූ විවාහක දෙදරු පියෙකු විය. රජරට ප්‍රදේශයේ ජීවත් වූ ඔහුගේ ජීවිතය කටුක බවින් යුක්ත වූයේ ආර්ථිකමය ගැටලු නිසාවෙනි. ජීවිකාව වශයෙන් නොකළ යුතු ව්‍යාපාරයක් ලෙස බුදු දහමෙහි නම් කළ මස්, මාංශ වෙළදාම එනම් මසුන් මරා විකිණීම සිදුකරන ලදී. වැවෙහි මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙකු ලෙස සුනිල් දිනපතා මසුන් මැරීමේ ක්‍රියාවලිය තම කුඩා ඔරුවක ආධාරයෙන් සිදු කළේය. බෞද්ධයෙකු වූ සුනිල් සතුන් මරා විකිණීමේ ඇති බරපතළ කම නොදැන සිටියා යැයි සිතීම ද අපහසුය.

ආර්ථිකය ගොඩනඟා ගැනීමට මෙකී පාපක්‍රියාවට අමතරව කොතෙක් මාර්ග ඇත්දැයි සුනිල්ට අවබෝධයක් නැතැයි සිතීමට ද නොහැක. වී ගොවිතැන, හේන් වගාව, පළතුරු වගාව ආදී බොහෝමයක් සාධාරණ රැකියා සිදුකරගෙන යෑමට මනාව ඉඩ ප්‍රස්ථා ඇති ප්‍රදේශයකි මේ. තවද මෙකී ඓතිහාසික වැව්, අමුණු අතීත රජදරුවන් විසින් නිර්මාණය කළේ ද කෘෂිකාර්මික බෞද්ධ ජනයාට විනා මසුන් මරන්නන්ට නොවන බවද නොඅනුමානය.

කරුණු එසේ වුවත් තමා සතු ඔරුව ආධාරයෙන් දින පතා වැවෙහි මසුන් මැරීමට යන මොහු අල්ලා ගන්නා මසුන් ඔරුවෙහි විත් ගොඩට ගෙන එනු ලබනුයේ පණ තිබියදීමය. එසේ බොහෝ වේලාවක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවන එම මත්ස්‍යයන් බොහෝ වේලා දුක් විඳ මරණයට පත්වන අතර පණ කෙන්ද සවිමත් කිහිපදෙනෙකු මාළු ලෑල්ල වෙත ගෙන ගියද තවම ජීවිතය යදිමින් දගලනු වැව්මාළු මිලදී ගැනීමට යන බොහෝ දෙනෙකු දැක තිබෙනු ඇත.

එසේ පැමිණෙන ඇතමෙකුට මෙම මසුන් පණපිටින් සිටියදීම ඔහු විසින් කපා විකුණන අවස්ථා ද නැතුවාම නොවෙයි. වන්දනාකරුවෝ බොහෝමයක් වැව් මාළු සමඟ බත්කටක් කෑමට ද අමතක නොකරති. එසේ කරන අයවළුන් හටද ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද? මෙසේ සුනිල් තම ජීවිකාව ඔස්සේ බොහෝමයක්
අකුසල් රැස් කර සොච්චම් මුදලක් අතට ගන්නේ තම දරුපවුල රැකගැනීමට යැයි කෙනෙකුට සාධාරණී

කරණය කිරීමට හැකියාව ඇත. එසේ නමුත් මග හොඳට තිබේ නම් - යන්න දෑසත් පෙනේ නම් අප කුමක් අරභයා මෙම සසර දුක් වැඩි කර ගම්ද? මෙතරම් නිර්මල සුපැහැදිලි ධර්මයක් අප හමුවේ තබාගෙන මෙලෙස නිකරුණේ වල් වැදීමට තරම් අප අඥාන විය යුතුද?

අපගේ කතානායක සුනිල් පෙර පරිදිම සුපුරුදු මසුන් ඇල්ලීමට වැවට පැමිණ තම ඔරුව දියත් කළේ මසුන් රැගෙන ආපසු පැමිණීමේ අදිටනෙනි. මේ දිනවල කාලගුණයේ පවතින අයහපත් භාවය නිසා වැවෙහි වෙනදා මෙන් මසුන් මරන්නන් නොවූ අතර සුනිල් පමණක් අදාළ අකුසල කර්මයෙහි නිරත විය. අපරාධයක් සිදුවන විට මහ පොළොව පවා කම්පා වන බව සමාජයේ නිතර කියවෙන මතයකි. මෙලෙස ස්වභාව ධර්මය විසින් මිනිසා සිදුකරන අපරාධවලට දඬුවම්දෙන අවස්ථා අප අනන්තවත් අසා ඇත.

එලෙසම මෙම පාපකාරී ක්‍රියාව ස්වභාව ධර්ම මාතාවගේ නෙත ගැටෙන්නට ඇත. ඇය වරක් දෙවරක් ඉවසන්නට ඇත. නමුත් මෙවර එසේ නොවීය. අහස ගිඟුරුම් හඩින් දෝංකාර දෙන්න විය. විදුලිය ගිනි සිළු මෙන් දිදුලවන්නවිය. මේ සියල්ල මැද ඒ පාපතරයාගේ සිරුර අකුණු සැරයක් වැදී බිම හෙලූ කඳක් මෙන්
නිරුද්ධ විය. එකී සිරුර බොහෝ වේලාවක් දියෙන් ගොඩට ගත් මාළුවෙකු සේ ගැහි ගැහී ඔරුවේ තිබෙන්නට ඇත.

බොහෝ වේලාවකට පසු ගම් වාසීන් සිරුර ඔරුවේ තිබී සොයාගෙන රෝහල් ගත කළ නමුත් ඒ වනවිටත්
ඔහු අවසන් ගමන් ගොස් හමාරය. මසුන් ඔරුවෙහි මිය යන තෙක් දැගලූ ආකාරයටම ඔහුද මිය යනුයේ
කළ කම් මෙලොවදීම පළදෙන බව සනාථ කරමිනි. කරන කලට පව් මිහිරිය මීසේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ'' යන කවිපදය මෙකී සිද්ධිය සමඟ මතකයට නැගෙනුයේ නිරායාසයෙනි. අප සිදුකරන හොඳ ක්‍රියාවන්ට ප්‍රතිඵල හොඳ වන්නා සේම නරක පාප ක්‍රියාවන්ට ද ප්‍රතිඵල එලෙසම ප්‍රතිවිරුද්ධ ලෙස ලැබෙන බව සනාථ කරමින් සුනිල් අප අතරින් සමුගත්තේ අමතක නොවන පාඩමක් සමාජයට ඉතිරි කරමින්ය.

රාජගිරිය, කලපළුවාවේ මුනිදාස සෝමතිලක මහතා ලියා එවූ කතාවක් මෙසේය.

කඩල වට්ටියට පයින් ගසා හිස නැති කරගත් තරුණයා.

කඩලේ කඩලේ රට කජු කඩලේ වෙරළ බඩ දුම්රිය මගින් යන්නකුට එදා රටකජු, අන්නාසි, කඩල වට්ටියක දමාගෙන වෙළෙදාම් කරන තරුණයන් දැකීම සුලභ දර්ශනයකි. මීට වසර කීපයකට පෙර මා රාජකාරිය සඳහා ගමන් කළේ මුහුදුබඩ දුම්රිය මාර්ගයෙනි. මා දුම්රියෙන් ගමන් ගන්නා විට බොහෝ විට අසුන් ගන්නේ මහ මුහුද පැත්තෙනි. උඩට නැගෙන රළගෙඩි බිදී විසිරී වෙරළ පුරා විහිදී යන්නේ මනාලියකගේ සුදෝ සුදු වේලයක් පරිද්දෙනි. එම දසුන එදා මා බලා සිටියේ පුදුම ආසාවකිනි. කඩලේ කඩලේ රට කජු කඩලේ වයස අවුරුදු විස්ස නොඉක්මවූ තරුණයකුගේ කටහඬ මා දෙසවන වැටිණි. ඔහු සමුදුර අද්දර ගල්පර මත මුහුදු සුළඟ රැලි සුව විඳගනිමින් විවේකීව ගතකරන්නවුන් වෙත අන්නාසි රට කජු විකුණමින් ජිවිකාව කරගත්තෙකි. එවැනි අහිංසක තරුණයන් දිනපතාම දුම්රියේ ගමන් ගන්නා විට මට හමුවෙයි.
එදා ගමන් ගත් දුම්රිය මැදිරියේ දොරටුව අසල හිටගෙන සිටි තරුණයන් කීපදෙනෙකි. රේල් පාර අද්දරින් පයින් යන්නන්ට සහ වෙරළේ ගල්පර මත කුඩ යටටවී සිටින කිසියම් යුවළකට උසුළු වුසුළු කිරීම මේ තරුණයන්ගේ සිරිතකි.

ඔන්න බලන්න ගුණේ .... අර රටකජු කාරයගෙ වට්ටියට මොකද වෙන්නෙ කියල.... ඔන්න මම කකුල අල්ලනවා. උගේ වට්ටිය හුළඟට යන හැටි බලමු... හායි... හුළඟට යන වට්ටිය කුරුල්ලෙක් වගේ
පියඹනව. මාරයි.... එක කඩල ඇටයක්වත් වට්ටියෙ ඉතිරි වුණේ නැහැ. අර... අර... හා... යි ඔහුගේ යාළුවකුට කියනු මට ඇසිණි.

රටකජු කඩල වෙළදාම් කළ අසරණ තරුණයාගේ කඩල වට්ටිය ඈතට ඈතට ගසාගෙන යන අයුරු මමද
දුටුවෙමි. රට කජු ගොටු අහුලා ගැනීමට තරුණයා දිව යයි. තමාගේ අමනොඥ පාපකාරී ක්‍රියාව දෙස බලමින් පාපුවරුවේ එල්ලී සතුට ප්‍රකාශ කිරීමට ඔහුට සොබා දහම ඉඩදුන්නේ මොහොතකි. ඊලඟ මොහොතේ ඔහුගේ හිස දුම්රිය පාර අද්දර කණුවක වැදී ඔහු බිම පතිත විය.

වහාම ඔහු ළඟට දුව ආවේ අර රටකජු වෙළෙන්දාය. දුම්රිය නැවතිණි. අපිද දුවගොස් බැලුවෙමු. දුම්රිය පාපුවරුවේ ගමන් කළ තරුණයාගේ හිස පොඩිවී ලේ ගලමින් තිබිණි. මට නෙති වුණේ කඩල රටකජු ටික විතරයි. මේ මාතියට මට විහිළු කරන්න ගිහිං ජිවිතේම නැතිවුණා කඩල වට්ටියෙන් පවන් සලමින් සිටි තරුණයාගේ ඇකයේදීම එහු අවසන් හුස්ම හෙළුවේය.

Post a Comment

0 Comments